හානිය අවම කරගැනීම...
මීට ටික කාලෙකට කලින් milo සමාගම කඩදාසි බීම බටය හදුන්වා දීමත් සමඟ මේ කතා බහ මුලින්ම කරලියට පැමිණියේ...
"පරිසර හිතකාමී කඩදාසි බටය පොලිතින් කවරෙක දාලා එවලා" වැනි විවිද උපහාසාත්කම කතා නිතර නිතර සමාජයේ දක්නට ලැබුනු අතර මිනිසුන්ට එය විහිලුවක් විය. තවත් සමහරක් එය භාවිතා කිරීමට අපහසු බටයක් ලෙස අර්ථකථන කර තිබුනා ("බීලා ඉවර වෙන්න කලින් බටේ පෙඟිලා ඉවරයි").
"හැන්ද පරිසර හිතකාමී කළාට වැඩක් නෑ cup එක ප්ලාස්ටික් නේ"
"යෝගට් එකෙන් බාගයක් කද්දී හැන්දත් කැවිලා"
වැනි අදහස් වලින් යුත් විවිධ මතයන් ඉදිරිපත් විය...
ඇත්තටම බැලුවොත් මේ අවස්ථා දෙකේදීම ඉදිරිපත් උන අදහස් ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්...
1. ඉදිරිපත් උන පරිසර හිතකාමී ආදේශකයන් භාවිතයේ ඇති අපහසුතාව කියමින් මැසිවිලි නගන්නන්...
2. ඉදිරිපත් උන ආදේශකයන් පරිසර හිතකාමී නොවන්නේ යැයි සිතා උපහාසාත්කම මත පල කරන්නන්....
පළවෙනි කොට්ඨාසය ගැන කතා කිරීමෙන් ඵලක් නැත. ඔවුනට අවශ්‍ය වන්නේ තම අවශතාවය සපුරා ගැනීම පමණි. තමා අවට පරිසරයට, සමාජයට වන හානිය ඔවුනට අදාල නැත.
නමුත් දෙවැනි මතය දරන්නන් අදහස් ප්‍රකාශ කරන්නේ වැරදි අවබෝධයක සිටය. එම මතය නිවැරදි කිරීමට නිවැරදි පාහැදිලි කිරීමකට හැකි වේ යැයි අදහසින් මෙම ලිපිය ලියමි. (සැ. යු: මෙම කොටස් දේකේම මත තිබෙන පුද්ගලයන්ද සිටිය හැක).
ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතයෙන් වෙන පරිසර හානිය අවම කිරීමට ලොව පිලිගත් සම්මතය වන්නේ 3R සංකල්පයයි. මෙයින් අර්ථ ගැන්වෙන්නේ; Recycle, Reduced, Reuse යන සංකල්ප තුනේ එකතුවයි (ප්‍රතිචක්‍රීකරණය, අවම කිරීම, නැවත භාවිතය). මෙම වචන තුනේ අර්ථ වෙන වෙනම බැලූ කළ එහි කිසි තැනක ප්ලාස්ටික් භාවිතය නැවැත්වීම යන්න සඳහන් නොකරයි. එසේ කිරීමට අවශ්‍යතාව තිබ්බේ නම් පහසුවෙන්න එකතු කල හැකො ඊළඟ 'R’ වනුයේ Remove සංකල්පයයි. නමුත් එය කිසිසේත්ම ප්‍රායෝගික නොවන බව, මේ මොහොතේද අප අවට ඇති උදාහරණ වලින් පසක් වේ. එසේත් නොමැතිනම් මොහොතක් අරන් හිතන්න අප අවට ඇති සියළුම ප්ලාස්ටික් ද්‍රව්‍ය ක්ශණයකින් අතුරුදන් කළ හොත් වෙන දේ? ඔබ මේ ලිපිය කියවන ජංගම දුරකථනයේ උපාංහ ඇතුළු බොහෝ දේ අතුරුදන් වේවි. කොටින්ම කිව්වොත් බොහෝ දෙනා නිර්වස්ත්‍ර වේවි. එසේනම් අපට කිසිදා ප්ලාස්ටික් භාවිතය සම්පූර්ණයෙන්ම නැවතිය නොහැක. කළ හැක්කේ භාවිතය නියාමනය පමණි.
එය කිරීමට ඇති හොඳම මාර්ග 3R සංකල්පය පිළිපැදීමයි. කෙටියෙන් ඒ ගැන විස්තර කළහොත්.
1. ප්‍රතිචක්‍රීකරණය (Recycle) කිරීම මගින් අපට ඉවතලන ප්ලාස්ටික් පොලිතින් නැවත සකස් කොට භාවිතයට ගත හැකි භාණ්ඩ නිශ්පාදනය කළ හැකිය. "පරණ කැඩිච්ච පුටුවට බේසමක් දෙනවා" කියමින් ඔබ නිවස අසලට පැමිනෙන්නන් අනුගමනය කරන්නේ මේ සංකල්පයයි. ඔවුන් එකතුකරන පැරණි ප්ලාස්ටින් ද්‍රව්‍ය වලින්, නැවත උණු කර බේසම් බංකු වැනි විවිද උපකරණ නිශ්පාදනය කරයි.
2. භවිතය අවම කිරීම (Reduce): ඇත්තටම අද අපි කතා කරන මාතෘකාවද අදාල වන්නේ මේ කොටස යටතයි. මෙහිදී සිදුවන්නේ අප හැකි අයුරින් පොලිතින් ප්ලාස්ටික් භාවිතය අවම කරගැනීමයි. හරියට ප්ලාස්ටික් බීම බටේ වෙනුවට කඩදාසි බටේ ගත්තා වගේ. නැත්තම් ප්ලාස්ටික් හැන්ද වෙනුවට කාඩ්බෝඩ් හැන්ද ගත්තා වගේ. (ඇත්තටම මෙව් සංකල්ප වලින් ප්ලාස්ටික් භාවිතය අඩු වෙන්නේ කොහොමද කියලා පසුවට සාකච්චා කරමු).
3. නැවත භාවිතය (Reuse) යනු අප යම්කිසි ප්ලාස්ටික් නිශ්පාදනයක් නැවත නැවත භාවිතා කරමින් දීර්ගකාලයක් පරිභෝජනය කරනවානම් නිතර නිතර ප්ලාස්ටික් අපද්‍රවයක් ලෙස පරිසරය එකතුවීම නවතිනවා. Keels වැනි සුපිරි වෙළෙදසැල් භාණ්ඩ මිලදී ගැනීමට පැමිණෙද්දී රෙදි බෑගයක් රැගෙන ඒමට මිනිසුන් දිරිමත් කරන්නේ මේ සංකල්පය පදනම් කරගෙනය. ඇත්තටම අප වෙළදපලය ගෙනයන ඒ රෙදි බෑගයද සාදා ඇත්තේ ප්ලාස්ටික් අමුද්රව්යකිනි, නමුත් අප එය දීර්ගකාලීනව භවිතා කිටීමෙන් දිනපතා පරිසරයට එකතුවෙන පොලිතීන් බෑග් ප්‍රමාණය අවම කරගත හැකිය. ඒ වාගේම එක් වරකට වඩා භාවිතයට ගත හැකි නිෂ්පාදන භාවිතය තුලින් පරිසරයට එකතුවන ප්ලාස්ටික් ප්‍රමාණය අවම කරගත හැකියි. මේ නිසා තමයි එක් වරක් භාවිතා කරන ප්ලාස්ටික් නිෂ්පාදන භාවිතය අවම කරන්නැයි සැමවිටම ඉල්ලා සිටින්නේ, මොකද අප එම නිෂ්පාදනයෙන් ලබාගත් ප්‍රයෝජනයට වඩා පරිසරට එයින් සිදුවන හානිය විශාලයි.
දැන් අපි බලමු කඩදාසි බටෙන් හරි හැන්දෙන් හරි සිදුවෙන පරිසර හානිය අවම වීම ගැන. හිතන්න ප්ලාස්ටික් බට 10ක බර 9g සහ එය අසුරන කවර 10ක බර 1g.( තේරුම් ගැනීම සඳහා ආසන්න ලෙස උපකල්පිත අගයන් යොදාගෙන ඇත). එහෙනම් ඉස්සර අපි milo 1000ක් බිව්වම පරිසරයට බීම බට වලින් 900g සහ එහි ඇසුරුම් වලින් 100g, 1kg ප්ලාස්ටික් අපද්‍රවයක් පරිසරයට එකතු වෙනවා. එත් ප්ලාස්ටික් බටයට ආදේශකයන් ගෙන ඒම තුලින් එම අපද්‍රව්‍ය ප්‍රමාණය 1kg සිට 100g දක්වා අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. (මේවායේ සැබෑ ස්කන්ධයන් මේ අවස්ථාවේ මා සතුව නොමැති බැවින් ප්‍රතිශතයන් ආකාරයෙන් අපද්‍රව්‍ය බැහැරවීම අඩුවීම දැක්වීමට අපහසුයි).
මේ ආකාරයෙන්ම තමයි කඩදාසි හැන්දෙනුත් පරිසර හානිය අවම වෙන්නේ. ප්ලාස්ටික් හැදි 10ක බර 5g සහ යෝගට් cup 10 ක බර 15g කියලා උපකල්පනය කරමු. කලින් විදියටම අපි යෝගට් 500ක් කද්දි 1kg ක අපද්‍රව්‍යක් පරිසරයට එකතු වෙනවා. හැන්ද සඳහා ආදේශකයක් සොයාගැනීම තුලින් එම අපද්‍රව්‍ය ප්‍රමාණය 1kg සිට 750g දක්වා අඩු වෙලා තියෙනවා... (නැවතත් මේ ආසන්න ලෙස උපකල්පනය කිරීමෙන් ලබාගත් අගයන් වේ).
තවමත් බීම බට ආවරණයට සහ යෝගට් කෝප්පය සඳහා යෝග්‍ය ආදේශකයන් නොමැති හේතුවෙන් ඒ සඳහා තවමත් ඒවා ඒ ආකාරයෙන්ම වෙළෙදපලට නිකුත් වෙනවා විය යුතුය. නිවැරදි ආදේශකයක් සොයාගත් වහාම ඒවාද ආදේශ වේ යැයි බලාපොරොත්තු තබාගත හැකිය. නමුත් හැම පොඩි දෙයකින්ම හානිය අවම කරගත හැකි බව මතක තාබාගත යුතුය...
ප.ලි: අපිට බොහෝ අවස්ථා වලදී ගන්න තීරණ සිද්ද වෙන්නේ හානිය අවම කරගනිමිනුයි. ලෙඩක් හැදුනම ගන්න බෙගෙතෙන් වෙන අතුරු ආබාධ තියෙන්න පුළුවන් ඒත් අපිට ලෙඩෙන් වෙන හානිය ඊට වඩා වැඩි නිසා හානිය අවම කරගන්න අපි ඒ බෙහෙත බොනවා. හරියට covid වලට vaccine එක ගත්තා වගේ, vaccine එක නිසා අතුරු ආබාධ ඇති වෙනවා කියා කටකතා පැතිරුනත් covid වලින් මැරෙන තරම් හානියක් නෑ කියලා හිතලයි මිනිස්සු vaccine එක ගත්තේ. හානිය අවම කරගන්නවා කියන්නෙ අන්න ඒකටයි...
©අශේන් දීමන්ත ලියනගේ
Comments
Post a Comment